Friday, 31 May 2024

සන්නිවේදන වර්ගීකරණය


සන්නිවේදන වර්ගීකරණයන් පිළිබඳව විමසා බැලීමේදී ඈත අතීතයේ සිට විවිධ  වර්ගීකරණයන්ට ලක්වී ඇත.කෙසේ වෙතත් 20 වන සියවසයෙන් පසුව කිසියම් විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ සන්නිවේදන වර්ගීකරණයක් ඉදිරිපත් කොට ඇත.මෙහිදී සන්නිවේදන ක්‍රියාවලියේ පුළුල්බව හා එහි තාක්ෂණික ස්වභාවය වැනි කරුණු සලකා බලමින් සමස්ත සන්නිවේදන ක්‍රියාවලිය කොටස් කිහිපයකට වර්ග කිරීමට ලක් කෙරේ.එනම්,

    *අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය 

    *අන්තර් පුද්ගල සන්නිවේදනය

    *සමූහ සන්නිවේදනය

    *මහජන සන්නිවේදනය

    *ජන සන්නිවේදනය 

අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය

මෙය සමස්ත සන්නිවේදන ක්‍රියාවලියේම පදනම ලෙස හඳුන්වාදිය හැකිය.මෙහිදී අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය යනු පුද්ගලයෙකු ඔහු සමගම සිදු කරනු ලබන සන්නිවේදනයයි.ඒ අනුව මෙහි විශේෂත්වය වනුයේ පංචේන්ද්‍රියන් තුළින් පණිවිඩ ග්‍රහණය කර ගැනීමයි.එසේම මෙය සෑම පුද්ගලයකු තුළම අනිවාර්යෙන් සිදුවන ක්‍රියාවලියක් වුවද එය දැක ගැනීම දුෂ්කර එකකි.මන්ද,යත් මෙම සන්නිවේදනය සිදුවනුයේ පුද්ගලයන්ගේ ඇතුලාන්තයෙන් නිසාවෙනි.

අන්තර් පුද්ගල සන්නිවේදනය

මෙය පුද්ගලාන්තර සන්නිවේදනය නමින්ද හඳුන්වනු ලබයි.මෙහිදී අන්තර් පුද්ගල සන්නිවේදනය පුද්ගලයන් දෙදෙනෙකු අතර සිදු කරනු ලබන සන්නිවේදනයයි.එනම් අන්තර් පුද්ගල සන්නිවේදනය යනු පුද්ගලයන් දෙදෙනකු අතර මුහුණට මුහුණලා හෝ වෙනත් මාධ්‍යයක් ඉවහල් කර ගනිමින් සිදුකෙරෙන සන්නිවේදනයයි.එසේම අන්තර් පුද්ගල සන්නිවේදනය පුද්ගලාභී මුඛව සිදුවන විට එය අභිමුඛ අන්තර් පුද්ගල සන්නිවේදනය ලෙසින්ද,දුරකථනය, පරිගණකය වැනි මාධ්‍ය මෙවලම් හරහා සිදුවන විට එය යාන්ත්‍රික හෙවත් අනභිමුඛ අන්තර් පුද්ගල සන්නිවේදනය ලෙසින්ද වර්ග කළ හැකිය.

සමූහ සන්නිවේදනය

තිදෙනෙකු හෝ ඊට වැඩි සමූහයක් සමඟ සෘජුව සම්බන්ධ වෙමින් මුහුණට මුහුණලා හෝ මාධ්‍ය ආධාරයෙන් කෙරෙන අදහස් හුවමාරු කර ගැනීමේ ක්‍රියාවලිය සමූහ සන්නිවේදනය ලෙස පෙන්වා දිය හැකිය.මෙහිදී සමූහ සන්නිවේදනය තුළ අසා සිටීම සහ සවන් දීම දැඩිව ක්‍රියාත්මක වන බව හඳුනාගත හැකිය.එසේම සමූහ සන්නිවේදනයේදී මුහුණට මුහුණලා සන්නිවේදනය සිදුවන අතර මෙම ක්‍රියාවලිය සජීවි බවකින් යුක්ත වේ.සමූහ සන්නිවේදනය විමසා බැලීමේදී කුඩා කණ්ඩායම් සන්නිවේදනය තුළ දැකගත හැකි කණ්ඩායම් පහක් වේ. එනම්,

*අහඹු කණ්ඩායම්

*විශෝධන කණ්ඩායම්

*ඉගෙනුම් කණ්ඩායම්

*ප්‍රතිපත්ති සැකසුම් කණ්ඩායම්

*ක්‍රියාකාරී කණ්ඩායම්

මහජන සන්නිවේදනය

මෙහිදී සන්නිවේදන තාක්ෂණයේ වර්ධනය හා ව්‍යාප්තියත්  සමඟ සමූහ සන්නිවේදන පරාසයෙන් ඔබ්බට ගොස් පුළුල් ජන සන්නිවේදනයෙන් මෙපිට සීමාවන් තුළ එක් ස්ථානයක විසිරී සිටින වඩා පුළුල් ජනකායක් වෙත සන්නිවේදනය කිරීමේ අවකාශයක් නිර්මාණය වී තිබේ.මෙවැනි සන්නිවේදන භාවිතාවන් මහජන සන්නිවේදනය ලෙසින්  සුවිශේෂීව හඳුනාගත හැකිය.

ජන සන්නිවේදනය

 ‍ජන සන්නිවේදනය යනු විසිරී පැතිරී තිබෙන විශාල ජනතාවක් වෙත විද්‍යුත් තාක්ෂණික ක්‍රමෝපායන් මාර්ගයෙන් පණිවිඩ ලබාදීමේ ක්‍රියාවලියකි.විශාල පිරිසක් එකවර ආමන්ත්‍රණය කිරීම ජන සන්නිවේදනයේදී සිදුවේ.

සටහන-එච්.පී.මධූෂා දිල්ෂානි                            තෙවන වසර                                                        රජරට විශ්වවිද්‍යාලය 

සන්නිවේදන කාර්යභාරය හෙවත් අරමුණු

 සන්නිවේදන කාර්යභාරය  හෙවත් අරමුණු

සන්නිවේදනය මානව ශිෂ්ඨාචාරය තුළ විශිෂ්ට තැනක් ගනී. එසේම සන්නිවේදනය එකිනෙකා සමග තොරතුරු, අදහස් හුවමාරු කර ගැනීම සඳහා පමණක් සීමා නොවේ. මෙහිදී සන්නිවේදනය මගින් විවිධ  කාර්යභාරයන් හා අරමුණු ඉටුකෙරෙන ආකාරයක් හඳුනාගත හැකිය.සන්නිවේදනයේ මූලික කාර්යභාරයන් සහ අරමුණු කිහිපයක් පිළිබඳව සන්නිවේදන විද්‍යාඥයෝ මෙසේ පෙන්වා දී ඇත.එනම්,

*තොරතුරු සම්පාදනය.

*අධ්‍යාපනය ලබාදීම.

*පොළඹවාලීම.

*විනෝදාස්වාදයක් ලබාදීම.

*සමාජානුයෝජනය.

*සංස්කෘතික කාර්ය.

*සංවාද හා සාකච්ඡා.

*සමාජ ඒකාබද්ධතාවය.

*මතවාදී කාර්ය.

*අභිප්‍රේරණය වේ.

 මෙහිදී ප්‍රධාන වශයෙන්ම සන්නිවේදන කාර්යභාරය දෙස අවධානය යොමු කිරීමේ දී ප්‍රධාන කාර්යභාරයන් හතරක් හඳුනාගත හැකිය.එනම් 

1.තොරතුරු සම්පාදනය

2.අධ්‍යාපනය ලබාදීම

3.පොළඹවාලීම*.

4.විනෝදාස්වාදයක් ලබාදීම

තොරතුරු සම්පාදනය

සන්නිවේදනයෙහි ප්‍රධාන කාර්යභාරයක් ලෙස තොරතුරු සම්පාදනය පෙන්වාදිය හැකිය.මිනිසා සැම විටම තොරතුරු පිපාසයෙන් ජීවත්වෙයි.තොරතුරු අවශ්‍යතාවය කොතෙක්ද යත් මිනිසාගේ ශරීරයට ආහාර අවශ්‍ය සේම මනසට තොරතුරු අවශ්‍ය වේ.සමාජය සැම විටම කිසියම් හෝ තොරතුරු අපේක්ෂාවෙන් සිටී.එනම් ලෝකය තුළ සිදුවන විවිධ සිදුවීම් පිළිබඳව දැන ගැනීමට මිනිසා තුළ පවතිනුයේ කුතුහලයකි.ඒ අනුව සමාජයේ ජීවත්වන මිනිසා හට නිරන්තරයෙන් තොරතුරු අවශ්‍ය වේ. පුද්ගල විශේෂතාවයන් අනුව ,අවශ්‍යතාවයේ විවිධත්වය අනුව ඔවුන් අපේක්ෂා කරන තොරතුරුද විවිධ වේ.එසේ වුවද සමාජයෙහි පැතිරෙන  මෙම තොරතුරු මිනිසාගේ ආරක්ෂාව සහ  යහපැවැත්ම සඳහා අවශ්‍ය වේ.

තොරතුරු සම්පාදනයේ වැදගත්කම-

*දෛනික ජීවිතය විධිමත් ලෙස පවත්වාගෙන යාමට හැකිවීම.

*ජන විඥානය පුළුල්වීම.

*සංස්කෘතිය අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකිවීම.

*පරිසරය පිළිබඳව අවධියෙන් සිටීමට හැකිවීම.

අධ්‍යාපනය ලබා දීම

සන්නිවේදනය තවත් ප්‍රධාන කාර්යභාරයක් ලෙස මෙය පෙන්වා දිය හැකිය.මෙය උපදේශාත්මක සන්නිවේදනය යනුවෙන්ද හඳුන්වනු ලබයි.මෙහිදී සමාජයක ජීවත්වන පුරවැසියන්ගේ ජීවන පැවැත්ම තහවුරු කිරීම සඳහා ඔහු ලබා තිබෙන දැනුම මහෝපකාරී වේ.එනම් අධ්‍යාපනය  වනාහි මානව ශිෂ්ඨාචාරගත කිරීමේ ප්‍රබල සාධකයක් ලෙස පෙන්වාදිය හැකිය.අධ්‍යාපනයක් ලබාදීමේ කාර්යභාරයෙහි ලා සන්නිවේදන ක්‍රියාවලිය විශාල මෙහෙවරක් ඉටු කරයි.මෙහිදී විධිමත් මෙන්ම අවිධිමත් අධ්‍යාපන කාර්යයේදීද ජනමාධ්‍ය ඉටු කරන මෙහෙවර අති විශාලය.ජනමාධ්‍ය ගත්කල ගුවන්විදුලිය, රූපවාහිනිය, පුවත්පත යන්න විශ්ලේෂණය කර බැලීමේදී පෙනී යන්නේ ඒ තුළ අධ්‍යාපනික තොරතුරු ඇතුළත් වී ඇති බවයි.අධ්‍යාපනික වැඩසටහන් සඳහා උදාහරණ ලෙස,

        * දොරමඩලාව

       *දැනුමයි වාසනාවයි

       *තක්ෂිලාව

        *ජාතික පාසල පෙන්වාදිය හැකිය.

පොළඹවාලීම

සන්නිවේදනයේ ප්‍රධාන කාර්යභාරයක් වන මෙය අනුනායාත්මක සන්නිවේදනය යනුවෙන්ද හඳුන්වනු ලබයි.මෙහිදී යම්කිසි කාරණයක් සඳහා ග්‍රාහකයා නතුකර ගැනීම පොළඹවාලීම යනුවෙන් අදහස් කරනු ලැබේ.උදාහරණ ලෙස යම්කිසි භාණ්ඩයක් හඳුන්වාදීමට,සේවාවක් විස්තර කිරීමට,දැනුමක් අවබෝධයක් ලබා දීම යන්න පෙන්වාදිය හැකිය.විශේෂ කාරණාව වනුයේ පොළඹවාලීමේදී ග්‍රාහකයාගේ බුද්ධියට වඩා හදවතට ආමන්ත්‍රණය කිරීමයි.

විනෝදාස්වාදයක් ලබාදීම

සමාජයේ පවතින සංකීර්ණතාවය හේතුවෙන් එහි ජීවත්වන මිනිසා නිරතුරුවම මානසික පීඩනයට මුහුණ දෙයි.ගැටලුකාරී  මානසික තත්ත්වයන්ට අද වැටෙන මිනිසාට යළි යථා තත්ත්වයට පත්වීම සඳහා විනෝදාස්වාදයක් ලබාදීම යටතේ සන්නිවේදනය විශාල මැදිහත්වීමක් සිදුකරයි.එමෙන්ම එදිනෙදා ජීවිතයේදී මුහුණ දීමට සිදුවන දුක් කම්කටොළු වලින් මදකට හෝ ඈත්ව විනෝදාසයක් ලැබීමට බොහෝ දෙනෙක් කැමතිය.මේ සඳහා ජනමාධ්‍ය ද විශාල කාර්යභාරයක් ඉටු කරයි.උදාහරණ ලෙස 

    *ගීතමය වැඩසටහන්

    *නාට්‍යමය වැඩසටහන්

     *විනෝදාත්මක වැඩ සටහන් විකාශය කිරීම පෙන්වා දිය හැකිය.

සටහන-එච්.පී.මධූෂා දිල්ෂානි                            තෙවන වසර                                                          රජරට විශ්වවිද්‍යාලය                         

Wednesday, 28 February 2024

සන්නිවේදන නිර්වචන

 සන්නිවේදනය ආරම්භය සම්බන්ධව නිශ්චිත නිර්වචනයක් ඉදිරිපත් කළ නොහැකිය. මන්ද,යත් සන්නිවේදනය කවදා, කෙසේ, කුමන හේතුවක් මත පදනම්ව ආරම්භ  වූවාදැයි තවමත් සොයාගෙන නොමැත.නමුත් මිනිසා සිතන්නට පටන් ගත් දවසේ පටන් සන්නිවේදනය ආරම්භ වූවා යැයි අනුමාන කළ හැකිය. එසේම සන්නිවේදනය පිළිබඳ විවිධ විද්වතුන් විවිධාකාර නිර්වචනයන් ඉදිරිපත් කොට ඇත.මෙහිදී සන්නිවේදන විෂයේ පියා ලෙස හැඳින්වෙන විල්බර් ශ්‍රාම් මහතා විසින් සන්නිවේදනය ආරම්භය පිළිබඳව මෙසේ නිර්වචනයක් ගොඩනංවා ඇත.එනම් ,

"*මිහිමත ගෙවුණු  ඉතා දිගු ඉතිහාසයක් එක් දිනක් ලෙස සලකතොත් සන්නිවේදනය බිහිවන්නේ ඊයේ මධ්‍යම රාත්‍රියට නිමේෂයකට  කලින්ය*"


එනම් පෘථිවියේ ආයු කාලය එක් දිනක් නම් දිනයේ ආරම්භය මධ්‍යම රාත්‍රියෙන් නම් සිදුවන්නේ සන්නිවේදනයේ ආරම්භය සිදුවී ඇත්තේ ඊට පෙර නිමේෂයකට පෙර බව ඔහු සඳහන් කොට ඇත.

මෙසේ ගොඩනැගෙන්නා වූ සන්නිවේදනය සඳහා 1930 දශකයේ සිට අද දක්වා බොහෝ සන්නිවේදන විශේෂඥයෝ තමන්ගේම නිර්වචනයක් ඉදිරිපත් කිරීමට මහන්සි ගෙන ඇත.මෙහිදී  1975 ට ආසන්න වන විට සන්නිවේදනය සම්බන්ධ නිර්වචන 2000 ට ආසන්න ගණනක් බිහි වූ බව සන්නිවේදන විශේෂඥයෙකු වූ ඩෑන්ස් පවසයි.මෙහිදී එම නිර්වචන පරිශීලනය මගින් සන්නිවේදනය යන්න කුමක්දැයි පිළිබඳ නිවැරදිව අවබෝධ කර ගත හැකිය.

"යම් පුද්ගලයෙක්, යම් කිසිවක්, යම් මාධ්‍යයකින්, යම් කෙනෙකුට බලපෑමක් සිදු කරනු ලබයිද එය සන්නිවේදනයයි (මහාචාර්ය හැරල්ඩ් .ඩී.ලැස්වෙල්)


"සන්නිවේදනය යනු යම් තැනකදී තෝරාගත් පණිවිඩයක් තවත් තැනකදී ප්‍රතිනිර්මාණය කිරීමයි"

(*ක්ලොඩ් ෂැණොන් හා වොරන් වීවර්*)


"තොරතුරු ගැබ් වූ සංඥාවක් මගින් දෙපාර්ශවයක් අතර එක හා සමාන මානසික තත්ත්වයක් ඇතිකරලීම සන්නිවේදනයයි.

(*විල්බර් ශ්‍රාම්*)


"සමාජය යනු අනෙකක් නොව සන්නිවේදනය හේතු කොට ගෙන සන්නිවේදනය තුළින් පවත්වා ගෙන යනු ලබන සබඳතා ජාලයකි. පුද්ගල චර්යාවට අදාළ සෑම සංස්කෘතික රටාවක්ම සහ චර්යාවට අදාළ සෑම ක්‍රියාවක්ම සෘජුව හෝ වක්‍රව සන්නිවේදනයට සම්බන්ධයක් ඇත".

(*එඩ්වඩ් සැපීර්*)

 

 "කිසියම් පණිවිඩයක් මගින් ඒකාබද්ධ කරනු ලබන ක්‍රියාදාමය සන්නිවේදනය වශයෙන් හැදින්විය යුක්ත බව පැහැදිලිය,"

‐ මහාචාර්ය විමල් දිසානායක 1977 ‐ 

 

 "ඉපැදීමට වෙර දරමින් සිටි සන්නිවේදනය, මිනිසා පොළොව මත පරිණාමය වීමත් සමගම බිහිවිය,"

‐ ආචාර්ය ආරියරත්න ඇතුගල                                                                කැලණිය විශ්වවිද්‍යාලය  ජනසන්නිවේදන අධ්‍යයන අංශය ‐ 

 

 

"සරල ලෙස සන්නිවේදනය යන්නෙහි තේරුම අදහස්, හැගීම් ප්‍රකාශ කිරීම්, හුවමාරු කර ගැනීම යන්නයි,"

‐ ආචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස 1998 කැලණි විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අංශය ‐ 

 

 

"අප සන්නිවේදනය යනුවෙන් අදහස් කරන්නේ මිනිසා ගැන හැදෑරීමයි,"

                   ‐ ආචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ. කැලණිය විශ්ව විද්‍යාලය. ජන සන්නිවෙිදන අධ්‍යන අංශය ‐ 

 

" සන්නිවේදනය යන වචනය විග්‍රහ කරන විට පෙනී යන්නේ එය සං ‐ නි යන උපසර්ග දෙක පෙරටු කරගෙන විද්වේදනය යන ධාතුවෙන් සකස් වී ඇති පදයක් බවයි", 

‐ ආචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ ‐ 

 

 "සන්නිවේදනය  යනු සමාජයක් ඇති වීමට හේතුකාරක වන මෙවලමකි,"

‐ ආචාර්ය නන්දන කරුණානායක 1974 ‐ 

 

"සන්නිවේදනයෙන්, ජන සන්නිවේදනයෙන් තොරව මිනිස් විඥාාණයට සමාජීය වශයෙන් හෝ පුද්ගලික වශයෙන් හෝ පැවතිය හෝ ක්‍රියාත්මක විය නොහැක සහ සන්නිවේදන්නිවේදනය වූ කලී අවම වශයෙන් විඥාාණය දෙකක් අතර සිදුවන අන්තර් සබඳතාව වෙයි.මෙම අන්තර් සබඳතාවයෙහි ස්වරූප හා ආකාර සමාජ, ආර්ථික හා විද්‍යාත්මක, තාක්ෂණික වර්ධනයක් සමග නිරන්තරයෙන් වෙනස් වේ,"

‐ ආචාර්ය ටියුඩර් වීරසිංහ 1993  කොළඹ විශ්ව විශ්වවිද්‍යාලය 

 

 

"සංස්කෘතිය හා සන්නිවේදනය යනු විෂයන් දෙකක් නොව එක් සජීවී විෂයක් ලෙස හැදෑරීමට සිදුවී තිබේ.මානව සංස්කෘතික ඉතිහාසය එහි සන්නිවේදන ඉතිහාසය බව පැහැදිලි කර දීමට සිදුවේ,"

‐ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර (1997) -

Saturday, 17 February 2024

සන්නිවේදනය යනූ,

 සන්නිවේදනය යනු මානවයාගේ ප්‍රමුඛතම අවශ්‍යතාවයකි..එනම් ශරීරයට ආහාර මෙන් මිනිසාගේ මොළයට තොරතුරු අවශ්‍ය වේ. එම තොරතුරු ලබා ගැනීම සහ හුවමාරු කර ගැනීමේ ක්‍රියාවලිය සන්නිවේදනය ලෙස හඳුන්වනු ලබයි.එනම් යම් කිසි වූ පණිවිඩයක් හුවමාරු කර ගැනීමේ ක්‍රියාවලිය සන්නිවේදනය යනුවෙන් හැඳින්විය හැකිය. එමෙන්ම යම් කිසිවූ තොරතුරු හුවමාරුවක් එනම් සන්නිවේදන ක්‍රියාවලියක් සාර්ථකව සිදුකර ගැනීම සඳහා පංචේන්ද්‍රිය අත්‍යවශ්‍ය මූලික අංගයක් ලෙස හැඳින්විය හැකිය .එසේම සන්නිවේදනය යන්න කිසියම් සම්බන්ධතාවයක් මත රඳා සිටින්නකි. මෙහිදී සම්බන්ධතාව පුද්ගලයන් දෙදෙනෙකු අතර හෝ එක් පුද්ගලයෙකු තුල හෝ සමූහයක් සමඟ හෝ ඇතිවිය හැකිය .එසේම සන්නිවේදනය පුද්ගලයන් කණ්ඩායමක් සහ පුද්ගලයකු අතරත් කණ්ඩායමක් හා කණ්ඩායමක් අතරත් ඇතිවිය හැකිය.එසේම විශේෂම කරුණ නම් සන්නිවේදනය මිනිසාට පමණක් සීමා වූවක් නොවේ.


සන්නිවේදනය යන්න විමසා බැලීමේදී සන්නිවේදනය යන වචනය ගොඩ නැගී ඇත්තේ සං-නි යන උපසර්ග දෙක පෙරටු කරගෙන විද්-වේදනය යන ධාතුවෙන් සකස් වී ඇති පදයක් බවයි."සං" යන උපසර්ගයෙන් "මනා වූ" යන අදහසත් "නි" යන උපසර්ගයෙන් ඒකාබද්ධ යන අදහසක් ගම්‍ය වේ.එසේම "විද්" යන ධාතුවෙන් දැනීම,හැඟීම, වේදනය යනාදී අදහස් ගෙනදෙනු ලබයි.එසේම ඉංග්‍රීසි භාෂාවෙන් communication යන වචනය භාවිතයෙන් සන්නිවේදනය හඳුන්වනු ලබයි.

එසේම සන්නිවේදනය සැම විටම වෙනස්වීම්වලට භාජනය වේ. එනම් සන්නිවේදනය යනු ගතික ක්‍රියාවලියකි.එනම් නිරන්තරයෙන් පුද්ගලයාගෙන් පුද්ගලයාට , අවස්ථාවෙන් අවස්ථාවට මෙම සන්නිවේදනය යන ක්‍රියාවලිය වෙනස් වේ.එසේම සන්නිවේදනය පිළිබඳව විද්වතුන් පෙන්වා දෙනු ලබනුයේ සන්නිවේදනය ඕනෑම සමාජ  සංවිධානයක ජීව රුධිරය ලෙසය.එනම් ශරීරයේ එක් කොටසකට රුධිරය ගමන් නොකළහොත්   එහි ක්‍රියාකාරිත්වය අඩපනවනවා මෙන්ම යම් සමාජ කොටසකට  මෙම සන්නිවේදන ක්‍රියාවලිය නිසියාකාරව සිදු නොවුනහොත් එම කොටස අඩපණ වනබවයි.එයින් අදහස් වනුයේ මිනිසාට සන්නිවේදනය කොතරම් දුරට අවශ්‍ය ද යන්නයි.එනම් සන්නිවේදනයෙන් තොරව මිනිසාට පැවැත්මක් නැති තරම්ය.

සන්නිවේදන වර්ගීකරණය

සන්නිවේදන වර්ගීකරණයන් පිළිබඳව විමසා බැලීමේදී ඈත අතීතයේ සිට විවිධ  වර්ගීකරණයන්ට ලක්වී ඇත.කෙසේ වෙතත් 20 වන සියවසයෙන් පසුව කිසියම් විධිමත් ක්‍ර...