Friday, 31 May 2024

සන්නිවේදන කාර්යභාරය හෙවත් අරමුණු

 සන්නිවේදන කාර්යභාරය  හෙවත් අරමුණු

සන්නිවේදනය මානව ශිෂ්ඨාචාරය තුළ විශිෂ්ට තැනක් ගනී. එසේම සන්නිවේදනය එකිනෙකා සමග තොරතුරු, අදහස් හුවමාරු කර ගැනීම සඳහා පමණක් සීමා නොවේ. මෙහිදී සන්නිවේදනය මගින් විවිධ  කාර්යභාරයන් හා අරමුණු ඉටුකෙරෙන ආකාරයක් හඳුනාගත හැකිය.සන්නිවේදනයේ මූලික කාර්යභාරයන් සහ අරමුණු කිහිපයක් පිළිබඳව සන්නිවේදන විද්‍යාඥයෝ මෙසේ පෙන්වා දී ඇත.එනම්,

*තොරතුරු සම්පාදනය.

*අධ්‍යාපනය ලබාදීම.

*පොළඹවාලීම.

*විනෝදාස්වාදයක් ලබාදීම.

*සමාජානුයෝජනය.

*සංස්කෘතික කාර්ය.

*සංවාද හා සාකච්ඡා.

*සමාජ ඒකාබද්ධතාවය.

*මතවාදී කාර්ය.

*අභිප්‍රේරණය වේ.

 මෙහිදී ප්‍රධාන වශයෙන්ම සන්නිවේදන කාර්යභාරය දෙස අවධානය යොමු කිරීමේ දී ප්‍රධාන කාර්යභාරයන් හතරක් හඳුනාගත හැකිය.එනම් 

1.තොරතුරු සම්පාදනය

2.අධ්‍යාපනය ලබාදීම

3.පොළඹවාලීම*.

4.විනෝදාස්වාදයක් ලබාදීම

තොරතුරු සම්පාදනය

සන්නිවේදනයෙහි ප්‍රධාන කාර්යභාරයක් ලෙස තොරතුරු සම්පාදනය පෙන්වාදිය හැකිය.මිනිසා සැම විටම තොරතුරු පිපාසයෙන් ජීවත්වෙයි.තොරතුරු අවශ්‍යතාවය කොතෙක්ද යත් මිනිසාගේ ශරීරයට ආහාර අවශ්‍ය සේම මනසට තොරතුරු අවශ්‍ය වේ.සමාජය සැම විටම කිසියම් හෝ තොරතුරු අපේක්ෂාවෙන් සිටී.එනම් ලෝකය තුළ සිදුවන විවිධ සිදුවීම් පිළිබඳව දැන ගැනීමට මිනිසා තුළ පවතිනුයේ කුතුහලයකි.ඒ අනුව සමාජයේ ජීවත්වන මිනිසා හට නිරන්තරයෙන් තොරතුරු අවශ්‍ය වේ. පුද්ගල විශේෂතාවයන් අනුව ,අවශ්‍යතාවයේ විවිධත්වය අනුව ඔවුන් අපේක්ෂා කරන තොරතුරුද විවිධ වේ.එසේ වුවද සමාජයෙහි පැතිරෙන  මෙම තොරතුරු මිනිසාගේ ආරක්ෂාව සහ  යහපැවැත්ම සඳහා අවශ්‍ය වේ.

තොරතුරු සම්පාදනයේ වැදගත්කම-

*දෛනික ජීවිතය විධිමත් ලෙස පවත්වාගෙන යාමට හැකිවීම.

*ජන විඥානය පුළුල්වීම.

*සංස්කෘතිය අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකිවීම.

*පරිසරය පිළිබඳව අවධියෙන් සිටීමට හැකිවීම.

අධ්‍යාපනය ලබා දීම

සන්නිවේදනය තවත් ප්‍රධාන කාර්යභාරයක් ලෙස මෙය පෙන්වා දිය හැකිය.මෙය උපදේශාත්මක සන්නිවේදනය යනුවෙන්ද හඳුන්වනු ලබයි.මෙහිදී සමාජයක ජීවත්වන පුරවැසියන්ගේ ජීවන පැවැත්ම තහවුරු කිරීම සඳහා ඔහු ලබා තිබෙන දැනුම මහෝපකාරී වේ.එනම් අධ්‍යාපනය  වනාහි මානව ශිෂ්ඨාචාරගත කිරීමේ ප්‍රබල සාධකයක් ලෙස පෙන්වාදිය හැකිය.අධ්‍යාපනයක් ලබාදීමේ කාර්යභාරයෙහි ලා සන්නිවේදන ක්‍රියාවලිය විශාල මෙහෙවරක් ඉටු කරයි.මෙහිදී විධිමත් මෙන්ම අවිධිමත් අධ්‍යාපන කාර්යයේදීද ජනමාධ්‍ය ඉටු කරන මෙහෙවර අති විශාලය.ජනමාධ්‍ය ගත්කල ගුවන්විදුලිය, රූපවාහිනිය, පුවත්පත යන්න විශ්ලේෂණය කර බැලීමේදී පෙනී යන්නේ ඒ තුළ අධ්‍යාපනික තොරතුරු ඇතුළත් වී ඇති බවයි.අධ්‍යාපනික වැඩසටහන් සඳහා උදාහරණ ලෙස,

        * දොරමඩලාව

       *දැනුමයි වාසනාවයි

       *තක්ෂිලාව

        *ජාතික පාසල පෙන්වාදිය හැකිය.

පොළඹවාලීම

සන්නිවේදනයේ ප්‍රධාන කාර්යභාරයක් වන මෙය අනුනායාත්මක සන්නිවේදනය යනුවෙන්ද හඳුන්වනු ලබයි.මෙහිදී යම්කිසි කාරණයක් සඳහා ග්‍රාහකයා නතුකර ගැනීම පොළඹවාලීම යනුවෙන් අදහස් කරනු ලැබේ.උදාහරණ ලෙස යම්කිසි භාණ්ඩයක් හඳුන්වාදීමට,සේවාවක් විස්තර කිරීමට,දැනුමක් අවබෝධයක් ලබා දීම යන්න පෙන්වාදිය හැකිය.විශේෂ කාරණාව වනුයේ පොළඹවාලීමේදී ග්‍රාහකයාගේ බුද්ධියට වඩා හදවතට ආමන්ත්‍රණය කිරීමයි.

විනෝදාස්වාදයක් ලබාදීම

සමාජයේ පවතින සංකීර්ණතාවය හේතුවෙන් එහි ජීවත්වන මිනිසා නිරතුරුවම මානසික පීඩනයට මුහුණ දෙයි.ගැටලුකාරී  මානසික තත්ත්වයන්ට අද වැටෙන මිනිසාට යළි යථා තත්ත්වයට පත්වීම සඳහා විනෝදාස්වාදයක් ලබාදීම යටතේ සන්නිවේදනය විශාල මැදිහත්වීමක් සිදුකරයි.එමෙන්ම එදිනෙදා ජීවිතයේදී මුහුණ දීමට සිදුවන දුක් කම්කටොළු වලින් මදකට හෝ ඈත්ව විනෝදාසයක් ලැබීමට බොහෝ දෙනෙක් කැමතිය.මේ සඳහා ජනමාධ්‍ය ද විශාල කාර්යභාරයක් ඉටු කරයි.උදාහරණ ලෙස 

    *ගීතමය වැඩසටහන්

    *නාට්‍යමය වැඩසටහන්

     *විනෝදාත්මක වැඩ සටහන් විකාශය කිරීම පෙන්වා දිය හැකිය.

සටහන-එච්.පී.මධූෂා දිල්ෂානි                            තෙවන වසර                                                          රජරට විශ්වවිද්‍යාලය                         

2 comments:

සන්නිවේදන වර්ගීකරණය

සන්නිවේදන වර්ගීකරණයන් පිළිබඳව විමසා බැලීමේදී ඈත අතීතයේ සිට විවිධ  වර්ගීකරණයන්ට ලක්වී ඇත.කෙසේ වෙතත් 20 වන සියවසයෙන් පසුව කිසියම් විධිමත් ක්‍ර...